අසහනයෙන් මිදෙන මඟ
මිනිස් සිත තුළින් තෘප්තිමත්බව, සන්සුන්බව, සාමය, සතුට, පිරිසුදුබව
ඉවත්ව ගිය කල ජනිතවන මනෝභාවයකි අසහනය. සිතෙහි හටගෙන එහිම පවතිමින් සිට
අවසන්වන අසහනය, තේරුම් නොගත් පුද්ගලයා වටපිටා සමාජයට තමන් රිසි
වෙනත් දෙයකට දොස් පවරමින් අසහනයම තව තවත් තුරුළු කර ගනියි. සිතෙහි ජනිතවන
අසහනය එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම හා ශක්තිමත් බව අනුව අඩු වැඩි
වශයෙන් පවතින බව පෙනේ. ලෞකික ජීවිතය පුරා පවතින අසහනය සම්පූර්ණයෙන්ම
ඉවත්වන්නේ නිවනට පත්වූ අවස්ථාවේදීය. එතෙක් කුමන ආකාරයේ හෝ අසහනයක් මනස තුළ
රැඳී පවතී. මානසික අසහනය උත්සන්නවූ කල එය රෝගයක් බවට පත්ව ඉතා දරුණු
ප‍්‍රතිඵල අත්පත් කර දෙනු ඇත. එබැවින් මනස තුළ පහළවන හැඟීම්වලින් මුලාවට
පත්නොවී, මැනවින් අධ්‍යයනය කර ශාන්තබව, සහනය, සන්සුන්බව හා තෘප්තිමත්බව
ළඟාකර ගැනීම සඳහා ‘මනා ලෙස’ පුහුණු විය යුතුය. පිරිසිදු ශක්තිමත් මනසක් ඇති
කර ගත යුතුය.ලෝභ, දෝෂ, මෝහ යන ධර්මතාවලින් යුත් ලෞකික මිනිසාගේ සිත
නිරන්තරයෙන්ම අසහනයෙන් පෙළෙයි. එවැනි පරිසරයක් තුළ පෘථග්ජන මිනිසා මෙලොව
ඇති ඉහළම සැප සම්පත් විඳීමට කැමැත්ත දක්වයි. එබැවින් එම සැප සම්පත්
පහසුවෙන් ලබාගැනීම සඳහා සමාජයේ විශාල පිරිසක් ධාර්මික මගට වඩා අධාර්මික මග
අනුගමනය කරන්නාහ. තත්ත්වය එසේ වුවත්, ලද පමණින් සතුටට පත්වූ ධාර්මික සරල
දිවි පැවැත්ම, උතුම් බෝධිසත්ව ගුණාංගයක් බව, අවබෝධ කර නොගැනීම අභාග්‍යයට
හේතුවනු පෙනේ. ලද පමණින් සතුටට පත්වී සරල දිවි පැවැත්මේ ඇති වැදගත්කම ගැන,
බුදුපියාණන්වහන්සේ නිරතුරුවම දේශනා කළා පමණක් නොව, ප‍්‍රායෝගික ජීවිතයෙදී
එම ප‍්‍රතිපත්ති, අකුරටම පිළිපදිමින් සමස්ත ලෝකයටම ආදර්ශමත්වූ සේක. මේ
උතුම් බුදු ඔවදන මගහැර, ලද දෙයින් සතුටුවීමට ඇති අකැමැත්ත මිනිස් සමාජය
තුළ, අසහනය වර්ධනය කරවයි. එසේ අසහනයෙන් පෙළෙන සමහරුන්, තමා වෙත නැති සම්පත්
පහසුවෙන් ළඟා කර ගැනීම සඳහා නොයෙකුත් දූෂණ, වංචා හොර මැරකම් මනුෂ්‍ය ඝාතන
ආදියේ යෙදී, මුළු ජීවිත කාලය දුක් විඳින අන්දම අසන්නට ලැබේ. උට්ඨාන
වීර්යයෙන් වැඩ කිරීම, අල්පේච්ඡතාව, සිතට සතුට ගෙනෙන අතර අසහනය පළවා හරී.
ඔහු ලොව ජයග‍්‍රාහකයෙක් වේ.සමහර පුද්ගලයෝ, තම ජාතිය, කුලය, ආගම, භාෂාව, වත්
;පාහොසත්කම්, රූ ලක්‍ෂණ, තරාතිරම ආදී නොයෙකුත් දේ, වෙනත් කෙනෙකුට
සාපේක්ෂකව බලමින්, තමන්ගේ දෙය අව තක්සේරුවට ලක් කිරීමට පුරුදුව සිටිති. මේ
අසහනය ඉතා ඕනෑකමින්, තම හිසට රුවා ගැනීමකි. මේ ඉතා භයානක ප‍්‍රතිඵල ලබා
දෙන්නකි’ නුවණැති පුද්ගලයා කළ යුත්තේ තමන්ට ලැබී ඇති දේවලින් සෑහීමට පත්ව,
ඒවා අගය කරමින්, ධනාත්මක ආකල්ප ඔස්සේ තම ජීවිතය ආලෝකමත් කර ගැනීමයි. ඊට
ප‍්‍රතිවිරුද්ධව තමන්ගේ දෙය අව තක්සේරු කර, සෑහීමට පත් නොවන්නා,
නොදැනුවත්වම පරිහානියට පත්වේ.මිනිසා භෞතිත වශයෙන් වර්තමානයේ ජීවත්වූවත්, සිතිවිලි ධාරා තුළින් එක්කෝ අතීතය සමගය. නැත්නම් අනාගතය සමගය. අතීතයේවූ තම පොහොසත්කම්, රූමත්කම, ශක්තිමත්බව ආදී විවිධ කරුණු මෙනෙහි කරමින්, වර්තමානයේ ඇති අඩුපාඩු සමග ගළපාලමින්, තමන්ට අහිමිවූ දේ ගැන සිත සිතා අසහනය තුරුළු කර ගනියි. ජීවිතය ආලෝකවත් කර ගැනීමට සියලු දෙනාටම අනාගත සැලසුම් අවශ්‍යයි. නමුත් එම සැලසුම් සම්පාදනය අසහනයක් ගෙන නොදෙන අන්දමට පිළියෙළ විය යුතුය. ලෝකය දිනෙන් දින වසරින් වසර ඉතා ශීඝ‍්‍ර වෙනස්වීම්වලට භාජනය වන බැවිනි. අප සිතන දේ සිතූ ආකාරයට සිදුනොවීමත්, නොසිතු දේ සිදුවීමත් ගැන අවබෝධයෙන් කි‍්‍රයා කළ යුතු වේ. එවැනි බලාපොරොත්තු කඩවීම, හා නොසිතන ලද අන්දමේ ගැටළු මතුවීම, මිනිස් සිතට අසහනය ගෙන දෙන බැවින් ඉතා පරීක්‍ෂාකාරීවීම යෝග්‍යය.මෙලොව උපන් මිනිසා කැමතිවුවද, අකමැතිවුවද අටලෝ දහමට අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවේ. ලාබ අලාබ අයස යස නින්දා ප‍්‍රශංසා හා සැප දුක් එකසෙ පිළිගත යුතුය. මිනිසා ඊට අනුකූලව හැඩගැසීම අවශ්‍ය වන අතර, එය තේරුම් නොගත් හැමවිටම අසහනය සිතු තුළට කා වදිනු ඇත. ලාබය, යසස ප‍්‍රශංසා හා සැප යන මානව හිතකාමී ධර්මතාවයන්, පිළිගැනීමට කැමති වන අතර අලාබ, අයස, නින්දා හා දුක යන කටුක ධර්මතාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි. ඊට සමගාමීව සුබවාදී ධර්මතාවලට පමණක් මුහුණදෙන මිනිසුන් මෙන්ම අසුබවාදී ධර්මතාවලට පමණක් මුහුණදෙන මිනිසුන් ලොව නොමැත. මේ ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළා පමණක් නොව, ප‍්‍රායෝගිකව ඊට මුහුණ දුන් සේක.මීට අමතරව “අලි මදිවට හරක් කීවාසේ” මෙරට විද්‍යුත් මාධ්‍යයේ රූපවාහිනී නාලිකා තුළින්, මිනිස් සිත අසහනයට යොමු කරවන්නේ ඉතාම ශෝචනීය ආකාරයෙනි. දවස තිස්සේම මෙරට සමහර රූපවාහිනී නාලිකා ඔස්සේ ප‍්‍රදර්ශනය කරවනු ලබන, කාමුක හැඟීම් අවුස්සන, පහත් පෙළේ වෙළඳ දැන්වීම් හා කසිකබල් චිත‍්‍රපට තුළින් අසරණ නොකැළැල් තරුණ සිත් අසහනයට පත් නොවන්නේද? ඊට සමගාමීව නා නා අන්දමේ රසවත් ආහාරවලින් පිරි කෑම මේසයක් වටා රැස්වූ පියාත්, මවත් තම දරුවන් සමග රස කරමින්, ඒවා භුක්ති විඳින අන්දම ප‍්‍රදර්ශනය කරන වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය වේ. ගම්බද සාමාන්‍ය ගෙදරක කෑම මේසයක් මෙසේ විය හැකිද? දවස් කීපයකට වරක්වත් කුස පුරා බත් කටක් තම දරුවන්ට ලබාදිය නොහැකිව ලතවන දස දහස් ගණන් මවුපියන් මේ දැන්වීම් තුළින්, අසහනයට පත්නොවනවා ඇතැයි සිතිය හැකිද? එලෙසම එම වෙළෙඳ දැන්වීම මගින් ප‍්‍රදර්ශනය කරන අන්දමේ ආහාර වේලක් ලැබීමට තරම් ආර්ථික ශක්තියක් නැති අසරණ කුඩා දරුවන්ගේ සිත් සතන් තුළ අසහනය රෝපණය නොවන්නේද? මීට අමතරව, මිනිස් සිත් සතන් තුළ අසහනය ජනිත කරවන, විවිධ මාදිලියේ වෙළඳ දැන්වීම්, රූපවාහිනී නාලිකා ඔස්සේ ප‍්‍රචාරය වන බවද පෙනේ. රටේ අස්සක් මුල්ලක් නොහැර අද නා නා මාදිලියේ විලාසිතාවන් බිහිවන බව පෙනේ. මෙම විලාසිතා තමන්ට ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැති අය තුළ ජනිත වන අසහනය සුළුපටු වන්නේද?අසහනයෙන් සමාජය මුදවා ගැනීම සඳහා විවිධ සමිති සමාගම් තුළින් ගන්නා කි‍්‍රයා මාර්ග කොතෙක් දුරට සාර්ථකවී තිබේද යන්න ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් අසහනයෙන් මිදීම සඳහා හොඳම මග බුදු දහමයි. එහි පෙන්වා දෙන ප‍්‍රතිපත්ති සුරකිමින් සිත, කය, වචනය මනාව හික්මවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ ගමන් කිරීමයි. මෙය මැනවින් වටහාගත් බටහිර ජාතික උගත් බුද්ධිමත්තු වර්තමානයේ බුදු දහම වැළඳගනිමින් අසහනය දුරුකර ගනිති. අපේ රටේ සමාජයෙන් බහුතරයට අසහනය, ඊට හේතු ඉන් මිදී ජීවිතය සැපවත් කර ගන්නා අන්දම ආදිය පිළිබඳව දැනුවත්කමක් නැති බව පෙනේ. කරුණු මෙසේ වන අතර අසහනයෙන් තොරව ප‍්‍රීතිමත්ව හා සැපවත්ව ජීවිත ගතකිරීමට බුදුදහම තුළින් පෙන්වා දෙන මග අපේ සමාජයට අවබෝධ කර පහදාදීම මහා සංඝරත්නයට කළ හැකි වේ.
No comments:
Post a Comment